අප ගැන බිඳක්

පුදලා වැයම     නොසිතා
වෙහෙසී තිළිණ       නොපතා
මිනිසත් බවම           කලතා
සේවය සැමට           සැපතා

කුලුණු ගුණය

කුලුණුබරවීම ලොව සෑම ශාස්තෘවරයෙකුම අනුදත් උතුම් මිනිස් ගුණයකි.  එය, හුදු අනුකම්පාව ඉක්මවමින් අනුන් ගැන සිතීමට, අනුන් ගැන තැකීමට, පෙරළා ලැබෙන ප්‍රතිලාභ කිසිත් නොපතා අනුන් වෙනුවෙන් වෙහෙසීමට, අනුන්ට පිළිසරණ විමට අප හෘදයාභ්‍යයන්තරය පොළඹවන කරුණා දයා ගුණයයි. කුලුණුබරවිම, මිනිසත්බව වෙනුවෙන් ඉටු විය යුතු ප්‍රජා වගකීමකි; සැබවින්ම සමාජයීය යුතුකමකි. කුලුණුබර  ප්‍රජාවක් මිනිසා, සතා සීපාවා, ගහ කොළ ඇතුලුව සමස්ත පරිසරයේ යහපැවැත්ම වෙනුවෙන් ඇපවෙයි; කැපවෙයි. එහෙයින්ම කුලුණුබර ප්‍රජාවක් සහිත සමාජයක්  සහිත සමාජක්, අද සිටිනා සැමට මෙන්ම නූපන් පරපුරට ද සාමයෙන්, සැනසිල්ලෙන් සහ සතුටින් දිවි ගෙවිය හැකි සොඳුරු තැනක් වනු ඇත. පිළියන්දල කුලුණුබර ප්‍රජාව 'ප්‍රජාව වෙනුවෙන් ප්‍රජාව' යන සංකල්පය අනුව යමින්  මොනයම් හෝ ලාභාපෙක්ෂාවන් තොරව කැස්බෑව ප්‍රාදේශිය කොට්ඨාශය  තුළ ප්‍රජා සත්කාරක සේවා සලසනු පිණිස ගොඩනැගුණු ස්වෙච්ඡා සංවිධානයකි. එකිනෙකාට කුලුණුබර වන ප්‍රජාවක් ස්ථාපිත කිරිම එහි පුලුල් අරමුණයි. පරාර්ථය පෙර දැරි කරගෙන මෙවන් සද් කාර්යයන්හි නිරත වෙනත් කුලුණුබර පිරිස් සහ සංවිධාන ප්‍රදේශය තුළ තවත් බොහෝ ඇති බව වටහා ගෙන ඔවුන් හා එක්ව සමාන අරමුනු කරා ගමන් කරන අතර අදාල බලධාරින්, අධිකාරින් සහ සුවිශේෂී දැනුමැත්තන් සමග සුහදත්වයෙන් හා සහයෝගයෙන් වැඩ කිරිම  පිළියන්දල කුලුණුබර ප්‍රජාවේ අපේක්ෂාවයි. මෙහිදී ප්‍රමුඛ අවශ්‍යතාව ලෙස අප විසින් හඳුනාගනු ලැබුවේ තම පවුල වෙනුවෙන් පමණක් නොව පොදුවේ සමාජයේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවූ දිවි පෙවතක්  ගත කර පරිණත භාවයට පත්වුවන් මුහුණ දෙන විවිධ අභියෝග අතරින් විශේෂයෙන්ම ලෙඩ රෝග පිඩාදිය සමනය කරණු වස් සහන සත්කාර සේවා සැපයිමයි. ඉන් නොනැවතී අධ්‍යාපනය, පරිසරය ආදී අනෙකුත් ක්ෂෙත්‍රද ආවරණය වන පරිදි පිළියන්දල කුලුණුබර ප්‍රජාවේ සේවාවන් විවිධ දිශාවන්ට ව්‍යාප්ත කෙරේ. තරණය කළනොහැකි සෞඛ්‍ය ගැටලුවලට මැදිවී ගිලන්ව සිටින්නන් සහ එම පවුල්වල අය මුහුණ පාන සමාජ, ආර්ථික, මෙන්ම මානසික හා අධ්‍යාත්මික තත්ත්වයන් හමුවේ ඔවුනට අස්වැසිල්ලක්, සහනයක් සැලසීම පිණිස ඉත සිතින්, කිසිදු ප්‍රතිලාභයක් නොලබා ස්වේච්ඡාවෙන් කටයුතු කිරීමට කැපවූ පිරිසකගෙන් පිළියන්දල කුලුණුබර ප්‍රජාව සැදුම් ලත්ය.

පිළියන්දල කුලුණුබර ප්‍රජාවේ වැඩ සටහන්

සමාජ යුතුකමක් හැටියට, මහඟු අරමුණු ඇතිව අප හා  La සම්බන්ධවී සිටින සාධු ජනයා හා එක්ව දැනට ක්‍රියාත්මක කරන වැඩසටහන් අතර ... # ඔත්පලව සිටින වියපත් පුද්ගලයන් සදහා සත්කාර  සේවා සැපයීම # රෝගී තත්ත්වයන් නිවස තුළටම සීමාවී සිටින එවන් පුද්ගලයන් වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම # ජීවිතය අනිත්‍යබව පිළිගනිමින්ම, අවසන් සමය සැනසිල්ලෙන් සහ සහනශීලීව ගත කරණු හැකිවෙන පරිදි සහන සත්කාර සේවා සැපයිමට අදාලව සංකල්පමය වශයෙන් හා ප්‍රායෝගිකව ප්‍රජාව දැනුවත් කිරිම # ස්වේච්ඡා සහන සේවා කාර්යසාධක බළමුළුවක් කැස්බෑව වසම තුළ බිහි කිරීම.

පිළියන්දල කුලුණුබර ප්‍රජාවේ නිලධාරි මණ්ඩලය

ගරු අනුශාසක: යූජීන් කොරෙයා සභාපති: පද්මසිරි රණවකආරච්චි ලේකම්: දිල්රුක්ෂි පෙරේරා භාණ්ඩාගාරික: P K ගුණදාස උප සභාපති: මනෝද ගමගේ
සුධීර වීරකෝන්
නොයෙල් පල්ලියගුරු
ගාමිණී ගුණරත්න
ඩග්ලස් හෙට්ටිආරච්චි
රනිල් වැලිවිටිගොඩ
සරත් කැල්ලපත
ටිකිරිබණ්ඩා
ශාමේන් ගුණතිලක
 
විද්‍යුත් ලිපිනය : ccpiliyandala@gmail.com දුරකථනය : +94 76 668 6777 ලිපිනය : 299/2 ස්වර්ණපාය වත්ත , මඩපාත පාර , කොලමුන්න , පිළියන්දල
299/2 Swarnapaya Watta Road, Madapatha Road, Kolamunna, Piliyandala
E-mail: ccpiliyandala@gmail.com Phone: 0766686777